සොරබඩුවක් දැන දැනම මිලදී ගැනීමේදී සොරකමක් සිදුවේද?
අනුන් අයත් වස්තුවක් හිමියාට සොරෙන් හෝ ඔහු රැවටුමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම අදත්තාදාන (සොරකම) නම් වේ.
අන් සතු වස්තුවක් වීමය
අන් සතු වස්තුවක් බව දැනීම ය
පැහැර ගනු කැමති සිතය
පැහැර ගැනීමට උපක්‍රම කිරීම ය
වස්තුව ගැනීම
යයි අදත්තාදානයේ අංග පසෙකි. මේ පඤ්චාංගයෙන් එකකුදු අඩු වුවහොත් අදත්තාදාන කර්මය සිදු නො වේ. සොරකම ගැන තවත් බොහෝ විස්තර මෙතනින් බලන්න
යම් වස්තුවක් සොරකම් කළහොත් එහි අයිතිය මුල් හිමිකරුගෙන් ඉවත් වී හොරා සතු වේද?
මෙම ගැටලුවට පිළිතුරු ලබාදීමේදී සැලකියයුතු ප්‍රධාන කරුණක් වන්නේ “මුල් හිමිකරු මෙම වස්තුව පිළිබඳව බලාපොරොත්තු අත්හැර ඇත්තේ ද, නැතිනම් බලාපොරොත්තු සහිත ද?” යන්නයි. බලාපොරොත්තු සහිත නම් එහි අයිතිය මුල් හිමිකරු සතුය. මුල් හිමිකරු එය අත්හළේ නම් හොරා සතු වන බව පෙනේ.
“දෙදෙනාම බලාපොරොත්තු සහිත නම් හෝ මුල් හිමිකරු බලාපොරොත්තු සහිත නම් හෝ හොරා බලාපොරොත්තු සහිත නම් හෝ භික්ෂුවක් එම වස්තුව සොර සිතින් ගතහොත් පාරාජිකා වන බවත් අදින්නාදාන අකුසලය වන බවත් දෙදෙනාම බලාපොරොත්තු රහිත නම් එය සොර සිතින් ගත්තත් පාරාජිකා නොවන බවත් දුකුලා ඇවතක් වන බවත්” විනය පෙළ අටුවාවන්හි දැක්වේ. 1
සොර බඩුවක් මිලදී ගැනීමේදී මේ අංග සම්පුර්ණ වේ ද
ඉහත විස්තරය අනුව මුල් හිමිකරු මෙම වස්තුව පිළිබඳව බලාපොරොත්තු අත්හැර
නැතිනම් අයිතියක් හොරාට නැත. එනම් මිලදී ගන්නා වස්තුව අන්සතු වූවකි.
මිලදී ගන්න තැනැත්තා එය සොර බඩුවක් බව හා මුල් අයිතිකරු බලාපොරොත්තු
අත්හැර නැති බව දන්නවා නම් එය අන්සතු වස්තුවක් බව ඔහු දනියි - මේ අංගය
සම්පුර්ණ වේ. නමුත් මුල් හිමිකරු බලාපොරොත්තු අත්හැර ඇද්ද නැද්ද යන්න
මිලදී ගන්නා තැනැත්තා නොදනී නම් එතැන සැකයක් ඇත - අංගය සම්පුර්ණ නොවේ.
මිලදී ගෙන තමා සතු කරගැනීමේ කැමැත්ත ඇත.
මිලදී ගැනීම උපක්‍රමය වේ
මිලදී ගැනීමෙන් ගැනීම වේ
මේ අනුව මුල් හිමිකරු බලාපොරොත්තු අත්හැර නැතිබව මිලදී ගන්නා තැනැත්තා දන්නවා නම් පමණක් සොරකම් කිරීමේ සිල්පදය බිඳීමට අදාළ වන අංග පහම සම්පුර්ණ වී සොරකම් කිරීමේ සිල්පදය බිදෙන බව තීරණය කල හැකිය.
-- දිද්දෙනියේ අරියදස්සන හිමියන්ගේ ලිපියක් ඇසුරෙන් සැකසුණි
Last updated
Was this helpful?